ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා (ආයුධ පද්ධති නිලධාරියා) ඉතා අවදානම් සහගත මෙහෙයුමකින් පසු මුදාගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ. පසුගිය සිකුරාදා F-15E Strike Eagle යානය ඉරානයේ නිරිතදිග කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් පසු මෙම නිලධාරියා දින දෙකකට ආසන්න කාලයක් සතුරන්ගෙන් බේරී සැඟව සිට ඇත. අමෙරිකානු ඉතිහාසයේ සිදුකළ වඩාත්ම එඩිතර සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් ලෙස මෙය හඳුන්වා දුන් ජනාධිපතිවරයා, අදාළ නිලධාරියා මේ වන විට ආරක්ෂිතව පසුවන බව ‘Truth Social’ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
මෙම අතිශය රහසිගත මෙහෙයුම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා දුසිම් කිහිපයක් සහ විශේෂ බලකා භටයින් සම්බන්ධ වී ඇති අතර, මුදාගැනීමේ අවස්ථාවේදී දෙපාර්ශවය අතර දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුව තිබේ. අතුරුදන්ව සිටි ගුවන් නියමුවා සොයා දෙන ඕනෑම අයෙකුට ඉරානය විසින් මීට පෙර ත්‍යාග පිරිනමන බවට නිවේදනය කර තිබූ පසුබිමක, අමෙරිකානු හමුදාව තාක්ෂණික මෙවලම් භාවිත කරමින් පැය 24 පුරාම ඔහුගේ පිහිටීම නිරීක්ෂණය කර ඇත. මුදාගත් නිලධාරියා සුළු තුවාල ලබා සිටියද ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බවයි වාර්තා වන්නේ.
පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ මෙම යුදමය වාතාවරණය තුළ ඉරාන භූමියට කඩා වැටුණු පළමු අමෙරිකානු ප්‍රහාරක යානය මෙය වීම විශේෂත්වයකි. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාවය තවදුරටත් වර්ධනය වී ඇති අතර, මීට පෙර ද තවත් අමෙරිකානු යානා දෙකක් බිම හෙළූ බවට ඉරානය කළ ප්‍රකාශය දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ගුවන් නියමුවා බේරාගැනීමත් සමඟ අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බව ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.














