ඓතිහාසික පොළොන්නරුව පුදබිම කේන්ද්‍ර කරගනිමින්, මහ කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීමේ “අලුත් සහල් මංගල්‍යය” අද (05) දහවල් අති උදකර්ෂවත් අයුරින් පැවැත්විණි. රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පරිශ්‍රයේදී මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබූ අතර, සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් මෙහිදී ආගමික අනුශාසනා පවත්වනු ලැබූහ. මෙම අවස්ථාවට කථානායක ජගත් වික්‍රමරත්න, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
දේශීය ගොවිතැනට ආශීර්වාද පතා සිදුකරනු ලබන මෙම සාම්ප්‍රදායික මංගල්‍යයේදී, ඓතිහාසික කිරිවෙහෙර අබියස සිට අලුත් සහල් රැගත් පෙරහැර හේවිසි නාදය මධ්‍යයේ ගල් විහාරය වෙත ගමන් කළේය. අනතුරුව ගොවීන් විසින් මහ කන්නයේ ලබාගත් අලුත් සහල්, ගල් විහාර පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ දැවැන්ත පාත්තරය වෙත තැන්පත් කරමින් බුදුපාමොක් මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම සිදු විය. රට ස්වයංපෝෂිත කළ රජරට ගොවි ජනතාවගේ අස්වැන්නට ගෞරවයක් එක් කරමින් පවත්වනු ලබන මෙම උත්සවය, මෙරට කෘෂිකාර්මික සංස්කෘතියේ පවතින සජීවී බව මැනවින් ප්‍රදර්ශනය කළ අවස්ථාවකි.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් මහත් භක්තියෙන් යුතුව සහල් රැගෙන විත් මෙම මංගල්‍යයට දායකත්වය ලබා දුන් අතර, ඉදිරි වගා කන්නයන් සාර්ථක කර ගැනීමටත් රටට සෞභාග්‍යය උදා වීමටත් මෙහිදී ආශීර්වාද ප්‍රාර්ථනා කෙරිණි. රාජ්‍ය නායකයා ඇතුළු පිරිස ගොවි නියෝජිතයන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳවද අවධානය යොමු කළහ. අතීත රජ දවස සිට පැවත එන මෙම උතුම් චාරිත්‍රය අද දවසේත් රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය දක්වමින් පැවැත්වීම රජරට වැසියන්ගේ නොමද ප්‍රසාදයට හේතු විය.














