අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර මහ රෝහලේ සෞඛ්‍ය සහායක සේවකයෙකු අම්පාර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ රෝහල් සේවකයා කලක සිට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පොලීසියට ලද පෞද්ගලික තොරතුරක් මත ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අම්පාර මහේස්ත්‍රාත් චතුරිකා චන්ද්‍රතිලක මහත්මිය විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහුව මුදා හැරීමට නියම කර තිබෙනවා. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියමයෙන් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සාර්ථකව සිදු කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මූලස්ථාන පොලීසිය විසින් අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංග චන්ද්‍රතිලක මහතා දැනුවත් කර ඇති අතර, වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමටද පියවර ගෙන තිබෙනවා.














