ශ්‍රී ලංකාවට ආවේණික සහ ආරක්ෂිත ශාක විශේෂයක් වන “කොතලහිඹුටු” කිලෝග්‍රෑම් 48.6 ක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම අප්‍රේල් 02 වැනිදා සිදු කර ඇති අතර, සැකකරු කටුනායක සිට චීනයේ කුන්මින් බලා පියාසර කිරීමට නියමිතව තිබූ මු චීන නැගෙනහිර ගුවන් සේවයට (China Eastern Airlines) අයත් MU 714 යානයෙන් පිටත්ව යාමට සූදානම්ව සිට තිබෙනවා. ඔහු මෙම කොතලහිඹුටු තොගය තේ කොළ පාර්සල් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සඟවාගෙන යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කොතලහිඹුටු ආරක්ෂිත ශාකයක් වන බැවින් මෙලෙස අපනයනය කිරීම සපුරා තහනම් වන අතර එය රේගු ආඥාපනතද උල්ලංඝනය කිරීමකි.
අත්අඩංගුවට ගත් කොතලහිඹුටු තොගයේ වටිනාකම රුපියල් 145,000 ක් පමණ වන අතර එය රාජසන්තක කර අදාළ චීන ජාතිකයාට රුපියල් 200,000 ක දඩයක් නියම කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.














