ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සකස් කරන ලද “ශ්‍රී ලංකා – චීන සබඳතා: පොදු අනාගතයක් සහිත ප්‍රජාවක්” (Sri Lanka – China Relations: Community with a Shared Future) නමැති විශේෂ සමරු ග්‍රන්ථය චීනයේ බීජිං නුවරදී උත්කර්ෂවත් අන්දමින් එළිදක්වා තිබෙනවා.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාඕ ජිං මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වුණා. ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආනන්ද කුමාරසිරි මහතා විසින් රචිත මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය, සංස්කෘතික උරුමය සහ ලෝකය හමුවේ මෙරටට හිමි අනන්‍යතාවය පිළිබඳව මෙන්ම දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳවද පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී ආරම්භක දේශනය සිදු කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා, 1957 වසරේදී දෙරට අතර නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ බව සිහිපත් කළ අතර මෙම සබඳතාව වර්තමානය වන විට ඉතා ශක්තිමත් මට්ටමක පවතින බව සඳහන් කළා. එසේම මෙම කෘතියේ කර්තෘ ආනන්ද කුමාරසිරි මහතා අදහස් දක්වමින් කියා සිටියේ තාක්ෂණය, කාර්මික සංවර්ධනය, පුනර්ජනනීය බලශක්තිය සහ අගය එකතු කළ අපනයන වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට විශාල විභවයක් පවතින බවයි.














