ලබන ඉරිදා (අප්‍රේල් 12) පැවැත්වීමට නියමිත පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයට අදාළව නිකුත් වූ නවතම මත විමසුම් වාර්තාවලට අනුව, දක්ෂිනාංශික අපේක්ෂක කීකෝ ෆුජිමෝරි (Keiko Fujimori) පෙරමුණ ගෙන සිටින බව වාර්තා වේ. පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය වන 50 හැවිරිදි ඇය, ජනාධිපති ධුරය සඳහා තරග වදින සිව්වන අවස්ථාව මෙයයි.
පසුගිය ඉරිදා (05) නිකුත් වූ ‘ඩැටම් ඉන්ටර්නැෂනල්’ (Datum International) මත විමසුමට අනුව, ඇය සිය මනාප ප්‍රතිශතය 14.5% දක්වා ඉහළ නංවා ගෙන ඇත. හිටපු විකට නළුවෙකු වන කාලෝස් අල්වාරෙස් (Carlos Alvarez) 10.9%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, ලීමා නුවර හිටපු නගරාධිපති රෆායෙල් ලෝපෙස් අලියාගා (Rafael Lopez Aliaga) 9.9%ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා වාර්තාගත අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර, කිසිදු අපේක්ෂකයෙකුට 50%කට වඩා වැඩි බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව, ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම එළඹෙන ජූනි 07 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.












