ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගෙන යන යුදමය ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින්, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසා සිටියේ ලෝකය පාලනය කිරීමට වෙර දරන එක් මිනිසෙකුගේ ආත්මාර්ථකාමිත්වය නිසා අද මුළු මහත් ලෝකයම පීඩා විඳින බවයි.
පාස්කු මංගල්‍ය නිමිත්තෙන් පැවැත්වූ දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා ලෙස පෙනී සිටිමින් අසල්වැසි රටවල් මතට බෝම්බ වර්ෂා පතනය කරමින් විනාශය පමුණුවන නායකයෙකුට කිසිසේත්ම තමන් ක්‍රිස්තියානියෙකු යැයි පැවසිය නොහැකි බවයි. ක්‍රිස්තියානි ධර්මයට අනුව නායකයෙකු යනු ජනතාවගේ සේවකයෙකු විය යුතු බවත්, බලය පසුපස හඹා යෑම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඇඩොල්ෆ් හිට්ලර් ද යුරෝපයේ ශ්‍රේෂ්ඨ නායකයා වීමට උත්සාහ කළ බව සිහිපත් කළ කාදිනල් හිමිපාණන්, මෙම බලලෝභී නායකයාගේ මනස වෙනස් කර ලොවට සාමය උදාකර දෙන ලෙස දෙවියන්ගෙන් යදින මෙන් ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියහ.














