මෙරට ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මෙරට අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. කේෂ්ත්‍රයන් ඩිජිටල් කිරීම තුළින් ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය කරා යාමට නිලධාරීන් සහ මූල්‍ය ආයතන කැපවිය යුතු බව ඔහු අවධාරණය කළේය.
QR කේතය යනු හුදෙක් සීමා කිරීම් සඳහා භාවිතා කරන මෙවලමක් (ඉන්ධන හෝ පොහොර වැනි) යන මතය සමාජයෙන් ඉවත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා, එය පහසු ගනුදෙනු ක්‍රමවේදයක් ලෙස ජනගත කිරීමට විශේෂ අධ්‍යාපන වැඩසටහන් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ සිදුකරන ගනුදෙනු QR හරහා සිදු කිරීමට ජනතාව උනන්දු කරවන ලෙස ඔහු බැංකු සහ මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
“අපේ සමාජය අලුත් දේ වැලඳ ගැනීමට සූදානම්, නමුත් එම පද්ධතීන් ආකර්ෂණීය සහ පහසු විය යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














