මැදපෙරදිග සංචාරයක නිරත යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී අද (06) සිරියාවේදී එරට ජනාධිපති අහ්මද් අල් ෂාරා හමුවිය. දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, සෙලෙන්ස්කී සිරියානු ජනාධිපතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.
ඇමෙරිකා-ඉශ්‍රායල-ඉරාන යුද ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක, ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගල්ෆ් කලාපීය රටවලට යුක්රේන ඩ්‍රෝන සහ හමුදා තාක්ෂණය ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. 2024 වසරේදී බෂීර් අල් අසාද් පාලනය පෙරළා දැමීමෙන් පසු බලයට පත් අහ්මද් අල් ෂාරා, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවක් පවත්වන නායකයෙකි.
සෞදි අරාබියේ සල්මාන් කුමරුගේ මැදිහත් වීමෙන් ගොඩනැගුණු මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන්, මීට පෙර සිරියාවට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ද ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත. රුසියානු හිතවාදී අසාද් පාලනය බිඳවැටීමෙන් පසු සිරියාව මෙලෙස යුක්රේනය සමඟ ආරක්ෂක සබඳතා ගොඩනගා ගැනීම කලාපීය දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස විදේශ විචාරකයෝ පෙන්වා දෙති.














