එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය නිමිත්තෙන් පාරිභෝගිකයින් සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැටලීම් මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. භාණ්ඩ සඟවා තැබීම, නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම වැනි අක්‍රමිකතාවල නිරත වන වෙළෙඳසැල් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් දියත් කෙරේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය සති දෙකක කාලය තුළ පමණක් දිවයින පුරා වැටලීම් දහසකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. උත්සව සමයේ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
කිසියම් වෙළෙඳ ආයතනයක් පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව වහාම අධිකාරිය දැනුවත් කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














