ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම සැලකිල්ලට ගනිමින් ඩීසල් සඳහා රුපියල් 100ක් දක්වා සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) ප්‍රකාශ කළේය. “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, ඉදිරි සතිය තුළ ලෝක වෙළෙඳපොළේ මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සහනාධාරය වඩාත් ප්‍රතිලාභ ලැබිය යුතු ඉලක්කගත පිරිස් වෙත ලබා දීම සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ ඉලක්කය සපුරා ගැනීමට මෙම නව QR ගෙවීම් පද්ධතිය මහෝපකාරී වනු ඇති බව ද ඔහු පැවසීය.
මීට අමතරව, අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන පියවර ගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














