පසුගිය සතියේ ඉරානය විසින් වෙඩි තබා බිම හෙලන ලද ඇමෙරිකානු F-15E ස්ට්‍රයික් ඊගල් (F-15E Strike Eagle) ප්‍රහාරක යානයේ නියමුවෙකු බේරාගැනීමේ මෙහෙයුමකට පැමිණි තවත් ඇමෙරිකානු ගුවන් යානා කිහිපයක සුන්බුන් ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉරානයේ ඉස්ෆහාන් (Isfahan) පළාතේ කාන්තාර ප්‍රදේශයක විසිරී ඇති මෙම දැවී ගිය සුන්බුන් අතර හෙලිකොප්ටර් පියාපත් සහ යානා කොටස් දැකගත හැකිය.
ඉරාන හමුදා නිලධාරීන් පවසන පරිදි, අදාළ මුදාගැනීමේ මෙහෙයුමේදී ඇමෙරිකානු හමුදාවට අයත් C-130 ප්‍රවාහන යානා දෙකක් සහ බ්ලැක් හෝක් (Black Hawk) හෙලිකොප්ටර් යානා දෙකක් විනාශ කිරීමට ඔවුන් සමත්ව ඇත. මේ අතර, අතුරුදන්ව සිටි දෙවැනි ගුවන් නියමුවා මුදාගැනීමේ මෙහෙයුමකින් පසුව සොයාගත් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (05) තහවුරු කළේය.
මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් වී ඇති අතර, දෙපාර්ශවයම සිය ප්‍රහාරක ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටිති. ඉරානය විසින් නිකුත් කරන ලද මෙම වීඩියෝ දර්ශන මඟින් ඇමෙරිකානු හමුදාවට සිදුවූ දැඩි හානිය ලොවට පෙන්වීමට ඔවුන් උත්සාහ දරන බව විචාරකයෝ පවසති.














