ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුද ගැටුම් නිමා කිරීම සඳහා පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කළ “ඉස්ලාමාබාද් සම්මුතිය” (Islamabad Accord) නැමැති සටන්විරාම යෝජනාවලිය මේ වන විට දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම යෝජනාවලියට අනුව අද (06) දිනයේ සිටම ක්‍රියාත්මක වන පරිදි සටන්විරාමයකට එළඹීමේ හැකියාවක් පවතින බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම යෝජනාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු පියවර වන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් අත්හිටුවීම සහ ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමයි. දෙවන අදියර ලෙස දින 15-20ක් වැනි කෙටි කාලයක් ඇතුළත පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී දෙරටේ නියෝජිතයින් අතර මුහුණට මුහුණ සාකච්ඡා පවත්වා ස්ථිර සාම ගිවිසුමකට එළඹීම සැලසුම් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදී ඇති කාලසීමාව (Deadline) හෙට (07) අවසන් වීමට නියමිත අතර, ඔහු සඳහන් කර ඇත්තේ එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර, ඇමෙරිකාවේ ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කළේ දෙරට අතර දින 45ක තාවකාලික සටන්විරාමයක් සඳහා ද සාකච්ඡා මට්ටමේ පවතින බවයි.
කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් පවසන්නේ හුදු “තාවකාලික” සටන්විරාමයකට වඩා ස්ථිර ආරක්ෂිත සහතිකයක් සහිත විසඳුමක් තමන් බලාපොරොත්තු වන බවයි. පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මහතා මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වෙමින් සිටින අතර, අද දිනය ලෝක සාමය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක දිනයක් වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














