නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ 2026/2027 වාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම්කරුවෙකු තෝරාගැනීම වෙනුවෙන් ලංකා ගල්අඟුරු සමාගම විසින් ටෙන්ඩර් කැඳවා තිබේ. ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් දක්වා කාලය තුළ ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.
මෙම ලංසු ඉදිරිපත් කිරීම සඳහා ලබන මැයි මස 14 වැනිදා දක්වා කාලය ලබා දී ඇති අතර, අදාළ සැපයුම්කරු විසින් නියමිත කොන්දේසි සපුරාලිය යුතු බව සමාගම අවධාරණය කරයි. ඒ අනුව දින 210ක් ඇතුළත යාත්‍රා 38ක් මගින් මෙම ගල්අඟුරු තොගය සැපයිය යුතු වේ. මෙහිදී 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී ඉතිරි යාත්‍රා 18 මගින් සැපයුම් සිදුකළ යුතු බවට නියම කර ඇත.
සපයනු ලබන ගල්අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරන සමාගම්වල වගකීම පිළිබඳව ද දැඩි කොන්දේසි පනවා ඇති අතර, අදාළ සියලු විස්තර ලංකා ගල්අඟුරු සමාගමේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබේ.













