සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය එළඹෙත්ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි. උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමත්, පවතින ආර්ථික අපහසුතා මත ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීමත් වංචාකරුවන්ට පහසුවක් වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.
වංචාකරුවන් විසින් ජනතාව මුලා කිරීම සඳහා ව්‍යාජ අවුරුදු දීමනා (Offers), තෑගි (Giveaways), ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ ඇප්ස් (Apps), මෙන්ම ව්‍යාජ QR කේත වැනි විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි. මීට අමතරව ඊමේල් සහ කෙටි පණිවිඩ හරහා සිදුකරන තොරතුරු සොරකම් (Phishing) සහ දුරකථන අංක ව්‍යාජ ලෙස පෙන්වන ‘Caller ID Spoofing’ ක්‍රමය පිළිබඳව ද පොලිසිය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ කීර්තිමත් පුද්ගලයින්ගේ රූප රාමු පවා මෙම වංචනික ප්‍රවර්ධන දැන්වීම් සඳහා යොදා ගන්නා බව හඳුනාගෙන තිබේ. මෙලෙස ලබාගන්නා පුද්ගලික දත්ත හරහා බැංකු ගිණුම්වල මුදල් කොල්ලකෑමේ බරපතල අවදානමක් පවතින බැවින්, සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, අන්තර්ජාල ගනුදෙනු වලදී දැඩි විමසිලිමත් වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














