ස්පාඤ්ඤයේ වැලෙන්සියා (Valencia) හි පිහිටි රෙදිපිළි කලා විද්‍යාලයෙන් මීට වසර සියයකට පෙර අතුරුදන් වූ අතිශය දුර්ලභ 17 වැනි සියවසේ අත්පිටපතක් අන්තර්ජාලය හරහා යුරෝ 71,900කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.3කට අධික) අලෙවි කිරීමට දරා තිබූ උත්සාහයක් ස්පාඤ්ඤ පොලිසිය විසින් ව්‍යර්ථ කර තිබේ. මෙම ඓතිහාසික ලේඛනය 1479 වසරේදී “ෆර්ඩිනන්ඩ් ද කැතලික්” (Ferdinand the Catholic) රජු විසින් අත්සන් කරන ලද නියෝගයක පිටපතක් වන අතර, එමඟින් වෙල්වට් රෙදි නිෂ්පාදනය හුදු වෙළඳාමක සිට කලාවක් දක්වා ඉහළ නංවා තිබුණි.
කොළ පැහැති වෙල්වට් කවරයකින් සහ ලෝකඩ සැරසිලිවලින් සමන්විත මෙම අත්පිටපත 1907 ත් 1909 ත් අතර කාලයේදී අතුරුදන් වී ඇති බවත්, එය කිසිදා නිල වශයෙන් අලෙවි කර නොමැති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අදාළ අලෙවිකරු පවසා ඇත්තේ තමා මෙහි ඉතිහාසය පිළිබඳව නොදන්නා බවත්, 1970 දශකයේදී තම පියා විසින් මෙය ලබාගෙන තිබූ බවත්ය.
ස්පාඤ්ඤ ජාතික උරුමයන් සුරැකීමේ පොලිස් ඒකකය විසින් සිදුකළ නිරන්තර අන්තර්ජාල නිරීක්ෂණ මෙහෙයුමකදී මෙම වටිනා කලාකෘතිය සොයාගෙන තිබේ. දැනට මෙය අලෙවිකරු සන්තකයේම පැවතියද, එහි ඓතිහාසික වටිනාකම සලකා එය සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.














