මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ගිලන් රථ රියදුරන් 14 දෙනෙකු, සෞඛ්‍ය අංශයෙන් බැහැර වෙනත් රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කිරීමට ආණ්ඩුකාරවරයා ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (06) මහනුවර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. මධ්‍යම පළාත් ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමය සහ සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
දිවයිනේ සියලුම පළාත් නමයම නියෝජනය කරමින් සෞඛ්‍ය රියදුරන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් අවධාරණය කළේ අදාළ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කළ යුතු බවයි. සෞඛ්‍ය සේවයටම ආවේණික වූ පළපුරුද්දක් සහිත මෙම රියදුරන් වෙනත් ආයතන වෙත යොමු කිරීම හිතුවක්කාරී පියවරක් බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ හා ප්‍රවාහන රියදුරු සංගමයේ ලේකම් දිනේෂ් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, මෙම මාරුවීම් වහාම නතර කිරීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විසිරී සිටින සියලුම සෞඛ්‍ය රියදුරන් එක්ව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.














