රජය නිල වශයෙන් ප්‍රතික්ෂේප කළද, මේ වන විටත් දිවයින පුරා රහසිගත විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විදුලි ජනනයට අදාළ N.S.O. වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ දහවල් කාලයේ සූර්ය බලශක්ති (Solar) පද්ධති ආශ්‍රිතව සහ රාත්‍රී කාලයේ තෝරාගත් ප්‍රදේශ හතරක පැය කිහිපයක විදුලි කප්පාදුවක් දිනපතා සිදුවන බවයි.
නොරොච්චෝලේ බලාගාරයේ සිදුවූ බව කියන ගල්අඟුරු වංචාව හේතුවෙන් අපේක්ෂිත විදුලි උත්පාදනය සිදු නොවීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණවත් ඩීසල් තොග රජය සතුව නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව හෙතෙම සඳහන් කළේය. පවතින දැඩි වියළි කාලගුණය හමුවේ විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති පසුබිමක, රජය සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය ඉදිරි දිනවලදී තවදුරටත් දරුණු විය හැකි බවත්, විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට රජය අසමත් වී ඇති බවත් රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














