බොරතෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා දකුණු කොරියානු රජය සෞදි අරාබිය, ඕමානය සහ ඇල්ජීරියාව යන රටවල් වෙත විශේෂ නියෝජිතයින් කණ්ඩායමක් යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය හිමි දකුණු කොරියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පමණ සපුරා ගන්නේ මැදපෙරදිග කලාපයෙන් බැවින්, පවතින ගෝලීය තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන තිබේ.
බලශක්ති සැපයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් කොරියානු ධජය සහිත යාත්‍රා පහක් සෞදි අරාබිය වෙත යැවීමට ද සැලසුම් කර ඇති බව පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදක අහ්න් ඩෝ-ජොල් ප්‍රකාශ කර ඇත. මීට අමතරව, වෙළඳපොළේ පවතින තෙල් හිඟය පියවා ගැනීම සඳහා එරට සතු උපායමාර්ගික තෙල් සංචිත පෞද්ගලික පිරිපහදුකරුවන් වෙත මුදා හැරීමට ද දකුණු කොරියානු රජයේ අවධානය යොමුව තිබේ.
දකුණු කොරියාව සිය බලශක්ති අවශ්‍යතා සියල්ලම පාහේ ආනයනය මත පදනම්ව සපුරා ගන්නා බැවින්, මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය එරට ආර්ථිකයට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














