59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කැළුම් දිසානායක මහතා පවසයි. මෙම පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන ආගමික වතාවත් අප්‍රේල් 09 වැනිදා උදෑසන 8:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
අප්‍රේල් 08 වැනිදා අලුයම සතර වාහල්කඩ කිරි ඉතිරවීමෙන් ආරම්භ වන මෙම මංගල්‍යයේදී බෝධි පූජා, මල් පූජා සහ දවස පුරා පැවැත්වෙන විශේෂ හේවිසි පූජාවන් ඇතුළත් වේ. අප්‍රේල් 09 වැනිදා පෙරහරින් රැගෙන එන අලුත් සහල් මහා පාත්‍රයට පිරවීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරේ. මෙවර ද ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරනු ලබන පාරම්පරික මී පැණි පූජාව ද පැවැත්වීමට නියමිතය.
මීට අමතරව පාරම්පරික වී වගා කරන ගොවීන් දිරිමත් කරමින් ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව වී ලබාදීම සහ දක්ෂතම ගොවීන් තිදෙනෙකුට සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු වේ. භික්ෂූන් වහන්සේලා 50 නමකට පිරිනමන දහවල් දානයෙන් අනතුරුව මෙම 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වනු ඇත.














