පනාමුර පොලිස් වසමට අයත් වෑඅතුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පනාමුර පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෑඅතුර ප්‍රදේශයේම පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ (05) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ පිළිබඳව පනාමුර පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා ඊයේ රාත්‍රීයේ එම ප්‍රදේශයේ පිහිටි වෙනත් නිවසකට ගොස් සිට ඇති බවයි. එහිදී එම නිවසේ රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඔවුන් විසින් මියගිය පුද්ගලයාට අතින් පයින් සහ තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදු කර ඇත. තුවාලකරු වහාම පනාමුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මනුෂ්‍ය ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති වුවද ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














