අම්පාර, පරගහකැලේ ප්‍රදේශයේ පෞද්ගලික පොහොර ගබඩාවක් වටලා, එහි නීති විරෝධී ලෙස බෑග් මාරු කරමින් තිබූ පොහොර තොගයක් අත්අඩංගුවට ගැනීමට අම්පාර කොට්ඨාස දූෂණ මර්ධන අංශය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායමක් සමත්ව තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙම වැටලීමේදී, ගබඩාව තුළ ඉතා අපිරිසිදු ලෙස පොහොර බිම දමා බෑග් මාරු කරමින් සිටි බව අනාවරණය විය. එහිදී අලුතින් අසුරන ලද පොහොර මලු 54ක් සහ ඇසිරීම සඳහා සූදානම් කර තිබූ හිස් කවර 173ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම පොහොර බෑග්වල “යූරියා” යනුවෙන් සඳහන් කර තිබුණද, ඒවා කුමන ආයතනයකට අයත්ද යන්න හෝ කල් ඉකුත් වීමේ දිනයක් සඳහන්ව නොතිබූ බව විමර්ශන නිලධාරීන් පවසයි. කිසිදු අවස්ථාවක එක් බෑගයක ඇති පොහොර වෙනත් බෑගයකට ඇසිරීමට අවසර නොමැති බව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් අවධාරණය කළ අතර, ගබඩා හිමිකරු පවසා සිටියේ ප්‍රවාහනයේදී බෑග් ඉරී යන බැවින් තමන් අලුත් ආවරණ යොදා නැවත ඇසුරුම් කළ බවයි. කෙසේ වෙතත්, බෑග් මාරු කිරීමේ කටයුත්ත වහාම නතර කරන ලෙසට ගබඩා හිමිකරුට නියෝග කෙරුණි.
පවතින පොහොර හිඟය සැලකිල්ලට ගනිමින්, අදාළ පොහොර තොගය රඳවා නොගෙන රජයේ නියමිත මිලට එදිනම ප්‍රදේශයේ ගොවීන් වෙත අලෙවි කරන ලෙස නිලධාරීන් උපදෙස් දුන්හ. එම පොහොරවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගෙන ඇති අතර, එම වාර්තාව ලැබුණු පසු ප්‍රමිතියේ යම් ගැටලුවක් ඇත්නම් ගබඩා හිමිකරුට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.













