ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් අල්ලස් ලබාගත් තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ. නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරු විසින් අදාළ කාන්තාව පදිංචිව සිටින, බලපත්‍රයක් නොමැති ඉඩම සඳහා නීත්‍යානුකූල ඔප්පුවක් සකස් කර දෙන බව පවසා ඇයව මුලා කර තිබේ. ඒ සඳහා ඔහු වරින් වර රුපියල් 275,000ක මුදලක් ඇයගෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
ඉඩම පිහිටි නොර්වුඩ් වසම භාර ග්‍රාම නිලධාරීවරයාගේ වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාට ලබා දීමට රුපියල් 45,000ක මුදලක් අවශ්‍ය බවත් පවසමින් සැකකරු නැවතත් පැමිණිලිකාරියගෙන් මුදල් ඉල්ලා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් අද (06) අයිරදි හන්දිය පාලම අසලදී රුපියල් 45,000ක මුදල ලබා ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මස්කෙළිය, සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු බව අල්ලස් කොමිසම සඳහන් කරයි.















