වෘත්තීය බොක්සිං ක්‍රීඩාවට පිවිස වසරක් වැනි කෙටි කාලයක් තුළ, බ්‍රිතාන්‍යයේ නැගී එන සුපිරි බර පංතියේ ක්‍රීඩක ඩිලිෂස් ඕරි (Delicious Orie) ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් හදිසි තීරණය ක්‍රීඩා ලෝකය මවිතයට පත් කර තිබේ. “මා ලෝක ශූරයෙකු වුවද, අවසානයේ ඉතාමත් මානසික අවපීඩනයට ලක්වූ, අසතුටුදායක ලෝක ශූරයෙකු වනු ඇතැයි මම බිය වුණෙමි” යනුවෙන් 28 හැවිරිදි ඕරි සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව ඔහු වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස බඳවා ගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ බොක්සිං ප්‍රවර්ධකයන් අතර දැඩි තරගයක් පැවති පසුබිමක මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.
මුදල් ඉපයීමේ අරමුණින් වෘත්තීය ක්‍රීඩාවට පිවිසියද, මුදල් මගින් යම් සතුටක් ලැබිය හැකි වුවත් ඉන් ජීවිතයට සැබෑ තෘප්තියක් (fulfilment) නොලැබෙන බව තමාට වැටහුණු බව ඔහු පවසයි. වසර දහයකට ආසන්න කාලයක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ ඒකායන අරමුණින් උපන් දින උත්සව, මංගල උත්සව සහ අවමංගල්‍යයන් පවා මගහැර ක්‍රීඩාව වෙනුවෙන්ම කැපවූ ඕරිට, එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීමත් සමඟ තමා තුළ දැඩි මානසික වෙනසක් ඇති වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ක්‍රීඩාව තුළින් තමාගේ මානසික සෞඛ්‍යය පිරිහීමට පෙර ඉන් ඉවත් වීමට ගත් මෙම තීරණය, වර්තමාන ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව යළිත් කතාබහක් ඇති කිරීමට සමත්ව තිබේ.














