නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ප්‍රදේශයේ සිට පර්යේෂණ කටයුත්තක් සඳහා මෙරටට පැමිණ සිටි 20 හැවිරිදි ලූනා ටූගට් නමැති විශ්වවිද්‍යාල සිසුවියක් හැටන් සිංගිමලේ රක්ෂිතයේ අතරමංව සිටියදී පොලිසිය විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපනය ලබන ඇය සිය මිතුරන් සමඟ හැටන් ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.
තනිවම කඳු තරණය කිරීමට ගොස් ආපසු ඒමට මාවත සොයාගත නොහැකිව කඳු මුදුනේ ගලක් මත වාඩි වී සිටි මෙම තරුණිය, හැටන් පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සොයාගෙන තිබේ. ඇයව බේරාගත් වහාම රක්ෂිතය තුළදීම ආහාර පාන ලබා දීමට පොලිසිය කටයුතු කර ඇති අතර, තමන්ව බේරාගැනීම පිළිබඳව ඇය සිය කෘතඥතාව පළ කර ඇත.














