එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් අද (අප්‍රේල් 08) සිට අප්‍රේල් 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පුද්ගලික බස් රථ සේවා සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායකත්වය ලබා දෙයි.
මෙම සැලැස්ම යටතේ අන්තර් පළාත් පුද්ගලික බස් සේවාවන් මගින් දෛනිකව අතිරේක ගමන්වාර 800 ක් පමණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ද සාමාන්‍ය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය සේවා රැසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මාතර, බදුල්ල, නුවරඑළිය, හැටන්, මොණරාගල, ඇඹිලිපිටිය, වැලිමඩ සහ ගාල්ල වැනි මගීන් වැඩි වශයෙන් ගමන් කරන ගමනාන්ත කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.
අවුරුදු සමයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත ලක්ෂ 15 කට ආසන්න මගීන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සනීපාරක්ෂක, ආරක්ෂක සහ ප්‍රථමාධාර සේවා ද සලසා ඇත. මගීන්ගෙන් අධික ගාස්තු අයකිරීම් හෝ වෙනත් ගැටලු පරීක්ෂා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම පරීක්ෂණ නිලධාරීන් යොදවා ඇති අතර, ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0712595555 WhatsApp අංකය භාවිතා කළ හැකිය.















