ජීවන වියදම 300%කින් ඉහළ ගොස් ඇති පසුබිමක රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන්නේ කවදාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ සෑම මාස හයකට වරක්ම වැටුප් වැඩි කරන බව වුවත්, මේ වන විට ඉන්ධන, විදුලිය සහ ගෑස් මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම අධික වියදම්වලට සරිලන පරිදි වැටුප් වැඩිවීම් පිළිබඳව ජනතාව බලාපොරොත්තු සහගතව සිටින බවත්, පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා ද රජය මැදිහත් විය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. පවතින ආර්ථික තත්ත්වය හමුවේ වැටුප් වැඩි කිරීමේ පොරොන්දු ඉටු කරන්නේ කෙසේදැයි ඔහු රජයෙන් විමසා සිටියේය.
මීට අමතරව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳව ද නාමල් රාජපක්ෂ මහතා අදහස් දැක්වීය. ගල් අඟුරු වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට පෙර දැක්වූ අදහස් සහ වත්මන් තත්ත්වය අතර පරස්පරතාවයක් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විගණකාධිපති වාර්තාව මගින් ගල් අඟුරු ප්‍රසම්පාදනයේ බරපතල දෝෂ අනාවරණය කර ඇති බව සඳහන් කළේය. අදාළ ගල් අඟුරු සමාගම සහ පරීක්ෂණ වාර්තා සපයන රසායනාගාරය ලියාපදිංචි වී නොමැති බවට චෝදනා කළ ඔහු, මෙම ගල් අඟුරු වංචාව මෑතකාලීන ඉන්ධන සහ විදුලි මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව ද ප්‍රකාශ කළේය.













