ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු තම ව්‍යාපාරික කටයුතු බාහිර පාර්ශ්වයන් වෙත පැවරීම (Outsourcing) කළමනාකරණය කිරීම සඳහා නව විධිමත් රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. 2026 මාර්තු 25 දින නිකුත් කරන ලද මෙම නව බැංකු පනත් විධිවිධාන, වර්තමාන ඩිජිටල් බැංකුකරණ අවශ්‍යතා සහ විකාශනය වන මූල්‍ය ක්‍රියාකාරකම්වලට ගැලපෙන පරිදි සකස් කර ඇති අතර, එය 2027 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
නව රෙගුලාසිවලට අනුව තැන්පතු භාර ගැනීම, මුදල් ආපසු ගැනීම්, වත්කම් හා වගකීම් කළමනාකරණය, අනුකූලතාව පවත්වා ගැනීම, උපායමාර්ගික සැලසුම්කරණය, ණය අනුමත කිරීම සහ පාරිභෝගික තොරතුරු තහවුරු කිරීම (CDD) වැනි ප්‍රධාන කාර්යයන් බැංකුව තුළම සිදු කළ යුතු අතර ඒවා බාහිර පාර්ශ්ව වෙත පැවරීම තහනම් වේ. එසේම අභ්‍යන්තර විගණන කටයුතු ද සාමාන්‍යයෙන් බාහිරට පැවරිය නොහැකි වුවද, කුඩා බැංකු සඳහා දැඩි කොන්දේසි මත සීමිත සහන ලබා දීමට මෙහිදී අවධානය යොමු කර තිබේ.
බාහිර පාර්ශ්වයන් වෙත පවරනු ලබන ඕනෑම කාර්යයක සම්පූර්ණ වගකීම අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සතු වන අතර, ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිත විධිමත් ප්‍රතිපත්තියක් පැවතිය යුතුය. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ ක්ලවුඩ් පරිගණක (Cloud computing) සේවා බාහිරින් ලබා ගැනීමේදී දත්තවල රහස්‍යභාවය, ආරක්ෂාව සහ දත්තවල ස්වෛරීභාවය සුරැකෙන පරිදි මහ බැංකුවේ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව මෙම නව නීති පද්ධතිය මගින් අවධාරණය කර ඇත.














