කොළඹ ඩොක්යාර්ඩ් (Colombo Dockyard PLC) සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL) සමාගම විසින් අත්පත් කර ගැනීමත් සමඟ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කර තිබේ. ඒ අනුව සමාගමේ නව විධායක නොවන සභාපතිවරයා ලෙස මැසගොන් ඩොක් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කැප්ටන් ජග්මෝහන් (Capt. Jagmohan) පත් කර ඇති අතර මෙම පත්වීම අප්‍රේල් 07 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඉන්දීය නාවික හමුදාවේ සහ නෞකා තැනීමේ ක්ෂේත්‍රයේ වසර 25කට අධික අත්දැකීම් ඇති ඒ මහතාගේ පත්වීම හරහා සමාගමේ තාක්ෂණික සහ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිසංවිධානය යටතේ කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස තිමිර එස්. ගොඩකුඹුර මහතා තවදුරටත් කටයුතු කරන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයකු වන විශ් ගෝවින්දසාමි මහතා විධායක නොවන නාමික අධ්‍යක්ෂවරයකු ලෙස මණ්ඩලයට එක්ව සිටියි. මීට අමතරව සෙන්තිල්වෙල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් සෙන්තිල්වෙල් සෙන්ති නන්දනන් මහතා ද නාමික අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
ඉන්දියාවේ මැසගොන් ඩොක් සමාගම කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරිත්වය ලබා ගැනීමෙන් අනතුරුව සිදු කළ මෙම වෙනස්කම් හරහා සමාගමේ පාලන පද්ධතිය ශක්තිමත් කිරීම සහ මව් සමාගමේ උපායමාර්ගික ඉලක්ක සමඟ එය බද්ධ කිරීම අරමුණු කර ඇත. මෙම පියවර ශ්‍රී ලංකාවේ නෞකා තැනීමේ කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ඉවහල් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














