ඉන්දියාවේ ඇසෑම්, කේරළ සහ පුදුචේරි යන ප්‍රාන්තවල නව රජයන් තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද ආරම්භ වී තිබේ. මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රබලත්වය මැන බලන තීරණාත්මක පරීක්ෂණයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති. මීට අමතරව බටහිර බෙංගාලය සහ තමිල්නාඩුව යන ප්‍රාන්ත සඳහා මැතිවරණය මෙම මස අගදී පැවැත්වීමට නියමිත අතර, සියලු ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම මැයි 04 වැනිදා සිදු කිරීමට නියමිතය.
භාරතීය ජනතා පක්ෂය සිය සම්ප්‍රදායික බලකොටුවලින් ඔබ්බට ගොස් මෙතෙක් බලය තහවුරු කර ගැනීමට අපහසු වූ ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට මෙම මැතිවරණයේදී උත්සාහ කරයි. විශේෂයෙන්ම බටහිර බෙංගාලය, කේරළය සහ තමිල්නාඩුව යන ප්‍රාන්තවල මෙතෙක් එම පක්ෂය තනිව රජයක් පිහිටුවා නොමැති අතර එහිදී ඔවුන්ට ප්‍රබල ප්‍රාදේශීය පක්ෂ සමඟ සටන් කිරීමට සිදුව ඇත. මෙම මැතිවරණය විපක්ෂයට ද අතිශය තීරණාත්මක වන්නේ මෑත වසරවල පසුබෑමට ලක්ව සිටින කොංග්‍රස් පක්ෂය ඇතුළු විපක්ෂ සන්ධානයන්ට මෝඩිගේ පාලනයට එරෙහිව නැගී සිටීමට මෙය හොඳම අවස්ථාවක් වන බැවිනි.
මැතිවරණ කොමිසමට අනුව මෙම කලාප පහ තුළ ඡන්ද දායකයෝ මිලියන 174ක් සිටින අතර එය සමස්ත ඉන්දීය ඡන්ද දායකයන්ගෙන් 18%ක් පමණ වේ. කෙසේ වෙතත්, මැතිවරණ නාමලේඛන සංශෝධනය කිරීමේදී මුස්ලිම් ජාතිකයන් ඇතුළු මිලියන සංඛ්‍යාත පිරිසකගේ ඡන්ද කපා හැර ඇති බවට විපක්ෂය චෝදනා කරන නමුත් මැතිවරණ කොමිසම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඇසෑම් ප්‍රාන්තයේ සංක්‍රමණික ගැටලු සහ කේරළයේ සුභසාධන පාලනය වැනි විවිධ දේශපාලන තේමාවන් ඔස්සේ මෙවර මැතිවරණ සටන උණුසුම් වී තිබේ.














