දශක ගණනාවක් පුරා ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් (Long Island) ප්‍රදේශය භීතියට පත් කළ “Gilgo Beach” මිනීමැරුම් මාලාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රෙක්ස් හියුවර්මන් (Rex Heuermann) කාන්තාවන් අට දෙනෙකු ඝාතනය කළ බවට බදාදා දින නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පාපොච්චාරණය කළේය. වසර ගණනාවක් පුරා විසඳීමට නොහැකිව තිබූ මෙම අභිරහස් මිනීමැරුම් මාලාවේ වැරදිකරු ලෙස 62 හැවිරිදි මෙම ගෘහ නිර්මාණ ශිල්පියා (Architect) සියලු විස්තර අධිකරණය හමුවේ හෙළි කළේය. ඔහු විසින් කාන්තාවන් ගෙල සිරකර මරා දමා ඔවුන්ගේ සිරුරු දුරස්ථ වෙරළ තීරයන්හි අතහැර දැමූ ආකාරය කිසිදු හැඟීමකින් තොරව විස්තර කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම මැන්හැටන්හි සිය කාර්යාලයේ සේවය කරමින් සිටියදී 2023 වසරේදී ඔහු අත්අඩංගුවට පත් වූයේ පීසා පෙට්ටියකින් ලබාගත් DNA සාම්පල පරීක්ෂාවකින් අනතුරුවය. මුලින් කාන්තාවන් හත් දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද, බදාදා දින ඔහු 1996 වසරේ සිදුකළ තවත් ඝාතනයක් සම්බන්ධයෙන් ද වරද පිළිගත්තේය. මෙලෙස ඔහු අතින් ඝාතනයට ලක්වූවන් ලෙස මෙලිසා බාර්තෙලමි, මේගන් වෝටර්මන්, ඇම්බර් කොස්ටෙලෝ, මොරීන් බ්‍රේනාඩ්-බාන්ස්, ජෙසිකා ටේලර්, වැලරි මැක්, සැන්ඩ්‍රා කොස්ටිල්ලා සහ කැරන් වර්ගේටා යන කාන්තාවන් හඳුනාගෙන තිබේ.
මෙම පාපොච්චාරණයත් සමඟ වසර 10කට අධික කාලයක් යුක්තිය ඉටුවන තෙක් බලා සිටි වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහනයක් සැලසී ඇත. රෙක්ස් හියුවර්මන් පදිංචිව සිටි මැසපේක්වා පාර්ක් (Massapequa Park) ප්‍රදේශයේ වැසියන් පවසන්නේ ඔහු ඉතා නිහඬ පුද්ගලයෙකු ලෙස ජීවත් වූ බවත්, තම අසල්වැසියා මෙවැනි බිහිසුණු අපරාධකරුවෙකු බව කිසිසේත් සැක නොකළ බවත්ය. මෙම නඩුව ඇමරිකානු අපරාධ ඉතිහාසයේ වැඩිම අවධානයක් දිනාගත් මිනීමැරුම් මාලාවක් ලෙස සැලකේ.














