Artemis II මෙහෙයුම යටතේ සඳ වටා ගමන් කරමින් ඓතිහාසික වාර්තාවක් තැබූ ප්‍රථම කැනේඩියානු ගගනගාමියා වන ජෙරමි හැන්සන් (Jeremy Hansen) සමඟ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි මහතා ඊයේ (අප්‍රේල් 08) සජීවීව සම්බන්ධ වෙමින් සුහද සාකච්ඡාවක නිරත විය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ අමෙරිකා-කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යම් පීඩනයකට ලක්ව ඇති මොහොතක, මෙම අභ්‍යවකාශ මෙහෙයුම දෙරටේ සහයෝගීතාව ප්‍රදර්ශනය කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස විචාරකයෝ හඳුන්වති.
කැනේඩියානු ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන 50 හැවිරිදි ජෙරමි හැන්සන්, සඳ වටා යන මෙහෙයුමකට එක් වූ ප්‍රථම අමෙරිකානු නොවන පුරවැසියා ලෙස ඉතිහාසයට එක් වේ. ඔහු තවත් අමෙරිකානු ගගනගාමීන් තිදෙනෙකු සමඟ දින 10ක මෙම සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් රැගත් යානය හෙට (අප්‍රේල් 10) සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත කරවීමට නියමිතය. ජෙරමි හැන්සන්ගේ මෙම ජයග්‍රහණය පිළිබඳව සමස්ත කැනේඩියානුවන්ම ආඩම්බර වන බව මෙහිදී අගමැතිවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව අතරතුර රසවත් සිදුවීමක් ද වාර්තා විය. ඔරායන් යානය තුළ ‘නියුටෙලා’ (Nutella) බෝතලයක් පාවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වීමත් සමඟ, කැනඩාවේ ජාතික සංකේතය වන ‘මේපල්’ (Maple) යුෂ වෙනුවට නියුටෙලා භාවිත කිරීම ගැන අගමැතිවරයා ගගනගාමියා සමඟ විහිළුවක ද නිරත විය. තමන් සමඟ රැගෙන ගිය කැනේඩියානු ජාතික ධජය නැවත පැමිණි පසු අගමැතිවරයාට පිරිනමන බවට හැන්සන් මෙහිදී පොරොන්දු විය.














