තුර්කියේ LGBTQ+ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක නායකයින් 11 දෙනෙකුට එරෙහිව “අසභ්‍යත්වය පතුරුවා හැරීම” සහ “පවුල් සාරධර්ම උල්ලංඝනය කිරීම” යන චෝදනා මත නඩු විභාගයක් ආරම්භ වී තිබේ. ‘Genç LGBTI+’ (තරුණ LGBTI+) සංවිධානයේ මෙම නායකයින්ට එරෙහිව ඉස්මීර් නුවර අධිකරණයකදී මෙම නඩු විභාගය ඊයේ (අප්‍රේල් 08) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සමලිංගික යුවළවල් සිපගන්නා ඡායාරූප ප්‍රසිද්ධ කිරීම හරහා තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කර ඇති පවුල් සාරධර්මවලට හානි කර ඇති බව බලධාරීන්ගේ චෝදනාව වී තිබේ. මොවුන් වැරදිකරුවන් වුවහොත් වසර තුනක දක්වා සිරදඬුවම් නියම වීමේ මෙන්ම ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි වීමේ අවදානමක් පවතී.
තුර්කිය තුළ සමලිංගිකත්වය නීති විරෝධී නොවූවත්, එරට ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් සහ පාලක AK පක්ෂය විසින් LGBTQ+ ප්‍රජාව නිරන්තරයෙන් විවේචනයට ලක් කරනු ලබයි. එරට උපත් අනුපාතය පහත වැටීමට මෙම ප්‍රජාව වගකිව යුතු බවට රජය චෝදනා කරන අතර, මෙම නඩු විභාගය ද එම මර්දනකාරී වැඩපිළිවෙළේ කොටසක් ලෙස මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.














