හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා චීනය සහ රුසියාව එක්ව සකස් කරන ලද නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව තහවුරු කළ අතර, මීට පෙර බහරේනය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතට චීනය සහ රුසියාව විරෝධය දැක්වීමෙන් පසු මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇත. වත්මන් මැදපෙරදිග ගැටුම්කාරී වටපිටාව සහ සාගර ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙම ඒකාබද්ධ කෙටුම්පත සකස් කර ඇති බව වාර්තා වේ.
මෙහිදී අදහස් දැක්වූ මාඕ නිං මහත්මිය අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වීමට ප්‍රධානතම හේතුව ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන යුද මෙහෙයුම් බවයි. එබැවින් කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ගැටලුවට මූලික විසඳුම වන අතර, ආරක්ෂක මණ්ඩලයේ තීරණ ගැටුම් අවම කිරීමට මිස ඒවා තවදුරටත් උග්‍ර කිරීමට හේතු නොවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය. චීනය සහ රුසියාව ඉදිරිපත් කළ නව යෝජනාව මගින් සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් ගැටුම් ලිහිල් කිරීමටත්, නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීමටත් ප්‍රමුඛතාව ලබා දී ඇත.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාවන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර ඇති බවත්, එය ඉතා සාධාරණ මෙන්ම යුක්ති සහගත පියවරක් බවත් චීනය පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා ඉවත් කර මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














