අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය ලෙබනනය ඇතුළු “සියලු ගැටුම් පවතින කලාප” සඳහා වලංගු විය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අවධාරණය කරයි. ඊයේ (අප්‍රේල් 08) ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔහු මේ බව දැනුම් දී තිබේ.
අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයකට එකඟතාව පළ වී තිබුණ ද, ඊයේ දිනයේදී ඊශ්‍රායලය විසින් බීරූට් නුවරට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් මියගොස් ඇත. ලෙබනනය මෙම සටන් විරාමයට ඇතුළත් නොවන බව ඊශ්‍රායලය සහ අමෙරිකාව පවසා සිටිය ද, ඉරානය සහ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළ පකිස්ථානය පෙන්වා දෙන්නේ සාමය තහවුරු වීමට නම් ලෙබනනය ද ඊට ඇතුළත් විය යුතු බවයි.
සටන් විරාමය විශ්වසනීය සහ ස්ථාවර වීමට නම් ලෙබනනය ඇතුළත් කිරීම “අත්‍යවශ්‍ය කොන්දේසියක්” බව මැක්‍රොන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මීට අමතරව, ඕනෑම ස්ථිර එකඟතාවක් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ, මිසයිල පද්ධති සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන බාධා පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















