අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය දැඩි ලෙස විවේචනය කරමින් අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිනියක වන ලෝරා ලූමර් (Laura Loomer) ප්‍රකාශ කර ඇත්තේ, මෙම තීරණය ඉරාන පාලන තන්ත්‍රයට යළි ශක්තිමත් වීමට ඉඩ ලබාදීමක් බවයි. ඊයේ (අප්‍රේල් 08) දින ඇය විසින් පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ, මෙම යුද්ධය හරහා ඉරාන ඉස්ලාමීය ජිහාඩ්වාදීන් මුළුමනින්ම විනාශ කර දැමීමට තමන් අපේක්ෂා කළ බවයි.
ජනාධිපති ට්‍රම්ප් සෘජුව විවේචනය කිරීමෙන් වැළකී සිටි ලූමර් මහත්මිය, ඔහුගේ පරිපාලනයේ සිටින නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පවසා සිටියේ ඉරානය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි. “අපි ඊයේ අවදි වූයේ මුළු ශිෂ්ටාචාරයක්ම අතුගා දැමීමට බලාපොරොත්තුවෙන් වුවත්, ඔවුන්ට (ඉරානයට) නැවත සූදානම් වීමට තවත් කාලය ලබා දී තිබෙනවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.
එළඹෙන අතුරු මැතිවරණයේදී (Midterms) රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණයට මෙම යුද්ධය බාධාවක් වන බවට පැතිර යන මතය ද ඇය ප්‍රතික්ෂේප කළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ පක්ෂයේ ජයග්‍රහණයට බාධාව වන්නේ සතුරන්ට බෝම්බ හෙළීම නොව, පක්ෂයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පසුබට වීම බවයි. ලූමර්ගේ මෙම අදහස් ට්‍රම්ප් පරිපාලනය තුළ පවතින මත ගැටුම් තවදුරටත් තීව්‍ර කර තිබේ.


















