ආරක්ෂක හේතූන් මත ඇන්ත්‍රොපික් (Anthropic) කෘතිම බුද්ධි (AI) සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පෙන්ටගනය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස එම සමාගම කළ ඉල්ලීමක් වොෂින්ටන් ඩී.සී. ෆෙඩරල් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙය ට්‍රම්ප් පරිපාලනය ලැබූ නීතිමය ජයග්‍රහණයක් ලෙස සැලකේ.
ජනප්‍රිය ‘Claude’ AI තාක්ෂණය නිපදවන ඇන්ත්‍රොපික් සමාගම, තම තාක්ෂණය ඔත්තු බැලීමේ කටයුතු හෝ ස්වයංක්‍රීය අවි පද්ධති සඳහා භාවිත කිරීමට අවසර දීම සදාචාරාත්මක හේතූන් මත ප්‍රතික්ෂේප කර තිබුණි. මෙයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) විසින් එම සමාගම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සැපයුම් දාම අවදානමක් ලෙස නම් කරන ලදී. මෙම නම් කිරීම හරහා පෙන්ටගනයේ කොන්ත්‍රාත්තු ලබා ගැනීම ඇතුළු රජයේ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් සමාගමට අහිමි වීමේ අවදානමක් පවතී.
ආරක්ෂක ලේකම්වරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවත්, මෙම තීරණය හේතුවෙන් තමන්ට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සහ කීර්ති නාමයට හානි සිදුවන බවත් ඇන්ත්‍රොපික් සමාගම පවසයි. මෙම තහනම සම්බන්ධයෙන් සමාගම විසින් නඩු දෙකක් පවරා ඇති අතර, මීට පෙර වෙනත් අභියාචනාධිකරණයකින් සමාගමට පක්ෂව තීරණයක් ලැබී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, නවතම තීන්දුවත් සමඟ මෙම නීතිමය අරගලය තවදුරටත් සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ.














