කැනඩාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වැඩසටහනේ (International Student Program) සිදුවන වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව (IRCC) දැඩි පියවර ගැනීමට පටන් ගෙන තිබේ. මේ යටතේ කැනඩාවේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ඉන්දීය සිසුන් ඇතුළු ජාත්‍යන්තර සිසුන් පිරිසකට ඔවුන්ගේ ශිෂ්‍ය වීසා (Study Permit) කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ලිපි යැවීම ආරම්භ කර ඇත.
මාර්තු 23 වැනිදා කැනඩා විගණකාධිපතිනිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් පසුව මෙම ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එම වාර්තාවට අනුව, ශිෂ්‍ය වැඩසටහනේ පවතින දුර්වලතා මඟහරවා ගැනීමට දෙපාර්තමේන්තුව වහාම පියවර ගත යුතු බව අවධාරණය කර ඇත. මේ අනුව, අදාළ ලිපිය ලැබී දින 21ක් ඇතුළත තමන් දැනට අධ්‍යාපනය ලබන ආයතනයේ ලියාපදිංචිය තහවුරු කරන ලිපියක් සහ අධ්‍යයන වාර්තා (Transcripts) ඉදිරිපත් කළ යුතුය.
නියමිත කාලය තුළ මෙම ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සිසුන්ට කැනඩාව තුළ පවතින තාවකාලික පදිංචි බලපත්‍රය (Temporary Resident Status) අහිමි වීමේ අවදානමක් පවතින බව IRCC නිවේදනය කර ඇත. ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම මෙම නව සංශෝධනවල ප්‍රධාන අරමුණයි.
















