මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ කෘතිම බුද්ධි අංශයේ ප්‍රධාන විධායක නිලධාරී මුස්තාෆා සුලෙයිමාන් මහතා පවසන්නේ AI තාක්ෂණයේ වර්ධනය නුදුරේදී සීමා වනු ඇතැයි පැවසෙන මතයන් අසත්‍ය බවයි. ඔහු පෙන්වා දෙන්නේ පරිගණක බලය (Computing power) වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් AI තාක්ෂණය තවදුරටත් ඉදිරියටම යනු ඇති බවයි.
MIT Technology Review සඟරාව වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2028 වසර වන විට AI මාදිලි පුහුණු කිරීම සඳහා යොදා ගන්නා පරිගණක බලය 1,000 ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි. 2010 වසරේ සිට මේ දක්වා AI පුහුණු කිරීමේ වේගය සහ කාර්යක්ෂමතාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මීට පෙර මිනිත්තු 167ක් ගතවූ කාර්යයන් දැන් මිනිත්තු 4කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකි වී තිබේ.
අනාගතයේදී AI යනු හුදෙක් ප්‍රශ්නවලට පිළිතුරු දෙන පද්ධතියක් පමණක් නොව, මානව මට්ටමේ බුද්ධියකින් යුත්, ව්‍යාපෘති කළමනාකරණය සහ සාකච්ඡා මෙහෙයවිය හැකි “ඒජන්තවරයෙකු” (Agent) දක්වා වර්ධනය වනු ඇතැයි ඔහු අනාවැකි පළ කරයි. කෙසේ වෙතත්, මේ සඳහා අවශ්‍ය වන දැවැන්ත විදුලි බලය සපයා ගැනීම ප්‍රධාන අභියෝගයක් වනු ඇති බවත්, ඒ සඳහා සූර්ය බලශක්තිය වැනි පිරිසිදු බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

















