අධික ලෙස මුදල් වැය කරමින් පාසල්වල විවිධ උත්සව සහ සැමරුම් සංවිධානය කිරීම වහාම නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේදී දෙමාපියන්ට දැරීමට සිදුවන අධික මූල්‍ය පීඩනය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ මීට පෙර ලබා දී ඇති චක්‍රලේඛ උපදෙස් නොසලකා ඇතැම් පාසල් තවදුරටත් අධික වියදම් සහිත උත්සව පවත්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එබැවින් ඉදිරියේදී පාසල් තුළ පවත්වන ඕනෑම සැමරුමක් චාම් සහ අවම වියදමකින්, දෙමාපියන්ට බරක් නොවන අයුරින් සංවිධානය කළ යුතු බවට දැඩිව අවධාරණය කර තිබේ.
මේ අතර රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (අප්‍රේල් 10) දිනෙන් අවසන් විය. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දෙවන පාසල් වාරය අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ වන අතර එය ජූලි 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.














