මගී ප්‍රවාහන බලපත්‍ර යනු පොදු ජනතාවට අයත් සම්පතක් බැවින්, ඒ සඳහා නිශ්චිත වලංගු කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පසුගිය 08 වනදා රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මීට පෙර පැවති නීතිමය බාධාවන් ඉවත් කරමින්, 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත හරහා මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කර තිබේ. ඒ අනුව 2026 ජනවාරි 17 දිනැති අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි විය. මෙය බස් රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ද බලපත්‍ර කළමනාකරණයේදී මෙතෙක් පැවති ගැටලුවලට සාර්ථක විසඳුමක් වනු ඇත.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටියදී, ඇතැමුන් බස් වර්ජන දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. බස් හිමියන් සහ මගී ජනතාව යන දෙපාර්ශවයටම සාධාරණය ඉටුවන පරිදි රජය තීරණ ගන්නා බවත්, අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම රැස්වීමට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














