බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැර ඇති බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (අප්‍රේල් 10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104කින් පරාජයට පත් විය. මෙම ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට විරුද්ධව හෙවත් රජයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර, විශ්වාසභංගයට පක්ෂව හෙවත් විපක්ෂයට පක්ෂව ලැබුණේ ඡන්ද 49ක් පමණි.
සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සම්බන්ධයෙන් අද දින පුරා පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණු අතර, පස්වරුවේ පැවැති ඡන්ද විමසීමේදී රජය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් අමාත්‍යවරයාට සහය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළහ. බලශක්ති අර්බුදය පාලනය කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවට විපක්ෂය එල්ල කළ චෝදනා රජය ප්‍රතික්ෂේප කළ අතර, අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ආරක්ෂා කරමින් පාලක පක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.














