ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අධ්‍යාපන, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙරටේ අවධානය යොමුව තිබේ. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදු කළ සිව් දින නිල සංචාරයකදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡා පවත්වා ඇත.
මොන්ටානා ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ගියන්ෆෝර්ටේ (Greg Gianforte) මහතාගේ ආරාධනයකට අනුව සිදු වූ මෙම සංචාරයේදී, මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, මොන්ටානා විශ්වවිද්‍යාලය සහ මොන්ටානා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් සමඟ තානාපතිවරයා සාකච්ඡා පැවැත්වීය. එහිදී ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වරාය ආරක්ෂාව, ආපදා කළමනාකරණය මෙන්ම “දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මොන්ටානා ප්‍රාන්තය ලබා දුන් සහයෝගය පිළිබඳව ද අවධානය යොමු විය.
ආර්ථික සහ අධ්‍යාපනික සහයෝගීතාවය සම්බන්ධයෙන් මෙහිදී තීරණාත්මක එකඟතා කිහිපයකට එළැඹිණි. ආහාර සුරක්ෂිතතාව, ඛනිජ සම්පත් කැණීම් තාක්ෂණය සහ බලශක්ති ආරක්ෂාව වැනි අංශවලින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව තාක්ෂණික විශ්වවිද්‍යාල නියෝජිතයින් සමඟ සාකච්ඡා කෙරුණු අතර, මොන්ටානා විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී තානාපතිවරයා ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන විභවතාවන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළේය.














