සිඩ්නි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2026 ඕස්ට්‍රේලියානු ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ප්‍රදීප් සෝමසිරි ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ‘Silver Level’ කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහිදී ඔහු T46 කාණ්ඩය යටතේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළේය.
මෙම තීරණාත්මක ඉසව්ව නිමා කිරීම සඳහා ඔහු මිනිත්තු 3 තත්ත්පර 59ක කාලයක් වාර්තා කළ අතර, එය ඔහුගේ දක්ෂතාවය මනාව පෙන්නුම් කළ අවස්ථාවක් විය. මෙම ජයග්‍රහණය ප්‍රදීප් සෝමසිරි 2026 වසරේදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේදී ලැබූ පළමු පදක්කම් ලාභී ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වේ. ශ්‍රී ලංකාවේ පැරා මලල ක්‍රීඩා අංශය නියෝජනය කරමින් ඔහු දැක්වූ මෙම දක්ෂතාවය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.
ඕස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ ක්‍රීඩකයන් සමඟ කරට කර තරග කරමින් ප්‍රදීප් ලැබූ මෙම ජයග්‍රහණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරගාවලි සඳහා ඔහුට විශාල විශ්වාසයක් ලබා දෙනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකදී ශ්‍රී ලංකා ධජය ඉහළට එසවීමට සමත් වීම පිළිබඳව බොහෝ දෙනා ඔහුට සුබපැතුම් එක් කරති.














