සිංගප්පූරුවේ ආගමන හා විගමන මුරපොළ අධිකාරිය (ICA) විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකදී, සිය වීසා කාලය ඉක්මවා මාස නවයකට ආසන්න කාලයක් එරට රැඳී සිටි 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 08 වන බ්‍රහස්පතින්දා අලුයම සිදු කරන ලද මෙම වැටලීම, ආගමන විගමන නීති උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීම සඳහා දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමක ප්‍රතිඵලයකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලබා දී තිබූ සමාජ සංචාරක වීසා බලපත්‍රය 2025 ජුනි මස 28 වන දිනෙන් අවසන් වී ඇති අතර, එතැන් සිට ඔහු නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ රැඳී සිට ඇත. මෙම වැටලීම සඳහා ICA ආයතනයේ විශේෂ විමර්ශන කණ්ඩායම් සහභාගී වූ අතර, සැකකරුගේ අනන්‍යතාවය සහ වීසා බලපත්‍රයේ තත්ත්වය නිවැරදිව තහවුරු කර ගැනීමෙන් පසුව ආගමන විගමන පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගප්පූරු නීතියට අනුව මෙලෙස වීසා කාලය ඉක්මවා රැඳී සිටීම බරපතල වරදක් වන අතර, ඒ සඳහා සිර දඬුවම්, දඩ මුදල් හෝ කස පහර දීම වැනි දැඩි දඬුවම් හිමි විය හැකිය. මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ පුද්ගලයා මෙරටට පිටුවහල් කිරීමට නීතිමය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.














