හිටපු අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් 2028 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමේ හැකියාව පිළිබඳව සලකා බලමින් සිටින බව ප්‍රකාශ කර තිබේ. ඇය මේ බව සඳහන් කළේ නිව්යෝර්ක් හි මෑන්හැටන් හි පැවති ‘National Action Network’ සමුළුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමන් වසර හතරක් උප ජනාධිපති ධුරය දරමින් ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කර ඇති බැවින්, එම ධුරයේ වගකීම් සහ අවශ්‍යතාවන් පිළිබඳව තමන්ට මනා අවබෝධයක් පවතින බව ඇය මෙහිදී අවධාරණය කළාය. පවතින තත්ත්වය බොහෝ දෙනෙකුට සාධාරණයක් ඉටු නොකරන බවත්, පසුගිය වසර පුරා තමන් ඇමෙරිකාව පුරා සංචාරය කරමින් ජනතාවගේ ගැටලු හඳුනාගත් බවත් හැරිස් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කමලා හැරිස් 2024 ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ නමුත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත් විය. පසුගිය වසරේ කැලිෆෝනියා ආණ්ඩුකාර ධුරය සඳහා තරඟ කිරීම ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, මෙය 2028 වසරේ ඇයගේ නැවත පැමිණීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබූ කරුණකි.














