ඇමරිකා ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ ඩීසල් මිල 20% කට වඩා ඉහළ යාමට එරෙහිව අයර්ලන්තයේ විරෝධතාකරුවන් එරට එකම තෙල් පිරිපහදුව සහ වරායන් කිහිපයක් අවහිර කරමින් අද (11) දැඩි විරෝධතාවක නිරත විය. විරෝධතාකරුවන් ට්‍රැක්ටර් සහ ට්‍රක් රථ යොදාගනිමින් ප්‍රධාන මාර්ග සහ තෙල් පර්යන්ත අවහිර කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සිය ගණනක තෙල් හිඟයක් මතුව ඇති අතර එය අත්‍යවශ්‍ය සේවාවන්ට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
මෙම තත්ත්වය අයර්ලන්ත ආර්ථිකයට ඉතා භයානක මොහොතක් බව එරට රජය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, පොලිසිය මැදිහත් වී ‘වයිට්ගේට්’ (Whitegate) පිරිපහදුවේ අවහිරතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය, බර වාහන ඉවත් කිරීමට විශේෂ උපකරණ යොදා ගනිමින් ඉන්ධන ට්‍රක් රථවලට පිරිපහදුවට ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබේ. අයර්ලන්ත අගමැතිවරයා පවසා සිටියේ මෙම විරෝධතා හේතුවෙන් රටට ලැබෙන ඉන්ධන නැව් පවා හරවා යැවීමේ අවදානමක් පවතින බවයි.














