ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නුවර වරක් අතිශය ජනප්‍රියව පැවති ‘Turkey Leg Hut’ අවන්හලේ නිර්මාතෘ නකියා හෝම්ස්ට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනා ඉල්ලා අස්කර ගැනීමට හාරිස් ප්‍රාන්ත ජූරි සභාව තීරණය කර තිබේ. දරුණු අපරාධ රැසකට සම්බන්ධ සිය පෙම්වතාට පොලිසියෙන් බේරී සැඟවී සිටීමට උපකාර කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබුණද, ඇය වැරදිකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණය නිගමනය කර ඇත.
නකියා හෝම්ස්ගේ පෙම්වතා වන ජොනතන් සයිසන් (Johnathan Saizon), පැහැර ගැනීම් සහ සිය හිටපු පෙම්වතියට ටයර් ලිවර් එකකින් පහර දී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී මොහු හෝම්ස්ගේ නිවසේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම නිවස වටලන ලදී. එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකු නොමැති බව පවසමින් පොලිසිය නොමඟ යැවීමට උත්සාහ කළ බවට හෝම්ස්ට චෝදනා එල්ල වූ අතර ඇය මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ද පසුවිය.
සිය නිදහස් වීම පිළිබඳව අදහස් දක්වමින් නකියා හෝම්ස් සඳහන් කර ඇත්තේ සත්‍යය ජයගත් බවත්, තමා සැමවිටම නීතියට ගරු කළ බවත්ය. ඇයගේ ජනප්‍රිය අවන්හල වන ‘Turkey Leg Hut’ සෞඛ්‍යාරක්ෂිත ගැටලු සහ අධික ණය බර හේතුවෙන් 2024 නොවැම්බර් මාසයේදී වසා දැමීමට සිදුවූ අතර ඇයගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.














