ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම ජල මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම ඉරානයේ පාලනය යටතේ පවතින බවත්, එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා නෞකා ඉරාන මුදල් ඒකකය වන ‘රියාල්’ වලින් බදු ගෙවිය යුතු බවත් ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හාජි බාබේයි ප්‍රකාශ කර තිබේ. පකිස්ථානයේදී ඇමරිකාව සහ ඉරානය අතර පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව ඔහු මෙම දැඩි ප්‍රකාශය සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ සමස්ත තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් 20%ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන බැවින් මෙය ලෝක ආර්ථිකයට අතිශය තීරණාත්මක කලාපයකි. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරානය සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව කිසිදු සඳහනක් නොකළද, ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමයේ ප්‍රධාන කොන්දේසියක් වී ඇත්තේ මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂිත නෞකා ගමනාගමනය තහවුරු කිරීමයි.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය “ඉතා ඉක්මනින් විවෘත වන” බවයි. එමෙන්ම සමුද්‍ර සන්ධියේ අතුරා ඇති මුහුදු බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස ඇමරිකානු නාවික හමුදාවේ යුද නෞකා දෙකක් එම ප්‍රදේශය හරහා ගමන් කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසා තිබේ. කෙසේ වෙතත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඕනෑම යුද නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද අනතුරු අඟවා ඇත.














