“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වා තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව සංවිධානය කර තිබූ මෙම වැඩසටහන පසුගිය අප්‍රේල් 10 වන දින පවත්වනු ලැබුවේ පීඩාවට පත් සෙබළුන්ගේ චිත්ත ධෛර්යය හා ආර්ථික තත්ත්වය නැංවීමේ අරමුණිනි.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී වූ අතර, එහිදී කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත වවුචර්පත් ප්‍රදානය කිරීම සිදු විය. එක් අයෙකු සඳහා රුපියල් 15,000ක වටිනාකමකින් යුත් මෙම වවුචර්පත් ලබාදීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම මඟින් සපයා දී ඇත.
අනපේක්ෂිත ස්වාභාවික ආපදා හමුවේ පීඩාවට පත් යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ශක්තිමත් කිරීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානය නිරන්තරයෙන් මෙවැනි සහන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. විශේෂයෙන්ම උත්සව සමයක් ආසන්නයේ ලබාදුන් මෙම මූල්‍ය සහනය ආපදාවට පත් සෙබළුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇතැයි යුද හමුදාව විශ්වාසය පළ කරයි.














